Monday, May 6, 2013

​සිවිල් ගුවන් සේවාවන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමේ ජාතික අවශ්‍යතාවය

ලොව අන් රටවල් හා සැසඳීමේ දී ශ්‍රී ලංකාව තුළ සිවිල් ගුවන් සේවාවේ ව්‍යාප්තිය සහ ඒ පිළිබඳ දැනුම අඩු බව කැපී පෙනේ.  විශේෂයෙන් රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දිය හැකි කර්මාන්තයක් ලෙස හඳුනාගත හැකි මෙම ක්ෂේත්‍රය තවමත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා නොදෙන බව පැහැදිලි වේ. මෙයට විවිධ හේතුසාධක හඳුනා ගත හැකි වුවද මූලික වශයෙන් අප දකින්නේ සිවිල් ගුවන් සේවාවන් පිළිබඳ දැනුම මද කම නිසා මෙම ක්ෂේත්‍රෙයන් අවශ්‍ය දායකත්වය ලබා ගැනීමට හැකියාවක් නොමැති වීමක් ලෙසය. 

දෙවන ලෝක යුධ සමයේ ලොව බොහෝ රටවල විශේෂයෙන් යුරෝපයේ රටවල ගුවන් සේවාවන් දියුණු තත්වයට පත් වුවද දකුණු ආසියානු රටවලට මෙම බලපෑම එතරම් බරපතල ලෙස නොදැනුනේ යුද්ධයේ බලපෑමද මේ රටවලට අල්ප වූ නිසා යයි සිතිය හැක.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජාතිය ඓතිහාසික වශයෙන් ගුවන් සේවා ක්ෂේත්‍රයට හිමිකම් කියනු ලබන බව සක්විති රාවණගේ “දඬු මොණරය“ පිළිබඳ වන කථිකාව මගින් පැහැදිලි වේ. එවන් ජාතියකට උරුම හිමිකම් කියන අප සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළීමට හැකියාවක් ඇත්තවුන් බව අප විසින්ම පිළිගත යුතුය.

මේ සියළු කරණු පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රය නව නැම්මකට ගෙන ඒමට ශ්‍රී ලංකාවේ ජාතික පාසැල් සියල්ල මූලික කර ගනිමින් “ගුවන් සේවා සමාජ“ පිහිටුවමින් ගුවන් සේවා ව පාසැල තුලින් රටතුළ ප්‍රචලිත කිරීම අපගේ අරමුණයි.